ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට බිහාර් ප්‍රාන්ත සභා මැතිවරණය යනු හුදෙක් ප්‍රාදේශීය සටනක් නොවේ. එහි ප්‍රතිඵල 2026 වසරේ පැවැත්වීමට නියමිත අසාම්, බටහිර බෙංගාලය, කේරළය සහ තමිල්නාඩුව වැනි ප්‍රාන්ත රැසක මැතිවරණවලට මඟ පෙන්වනු ඇත. මෙම ප්‍රාන්තවල පාලනය දරන්නේ NDA සන්ධානයට එරෙහි වන, ජාතික මට්ටමින් INDIA සන්ධානය සහ බිහාර්හිදී මහාගතබන්ධන් (MGB) ලෙසින් හැඳින්වෙන පක්ෂ වීම මෙහි ඇති විශේෂත්වයයි.
වර්තමාන බිහාර් ප්‍රාන්ත සභාව තුළ ආසන 243 න් NDA සන්ධානයට ආසන 132 ක් ද, MGB සන්ධානයට ආසන 111 ක් ද හිමිව තිබේ. තරඟය ඉතා තියුණු වීම සහ මැතිවරණ ව්‍යාපාරයේදී මතු වූ ජාතික වැදගත්කමකින් යුත් කරුණු හේතුවෙන්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ඔක්තෝබර් 26 සිට 28 දක්වා ක්වාලාලම්පූර්හි පැවති ASIAN සහ නැගෙනහිර ආසියා සමුළුවට සහභාගී නොවී බිහාර්හි මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට සිදුවිය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තීරුබදු ගැටලුව නිරාකරණය කර ගැනීමට තිබූ අවස්ථාව පවා අත්හැර දැමීමට මෝදි මහතා කටයුතු කළේ ඇතැම්විට ඉන්දීය ග්‍රාමීය ජනතාවට සංවේදී කාරණයක් වන ඇමරිකානු කිරි සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඉන්දීය වෙළඳපොළ විවෘත කිරීමට ට්‍රම්ප්ට වචනයෙන් හෝ පොරොන්දු වීමෙන් වැලකී සිටීමට වන්නට පුළුවන.
බිහාර්හිදී මැතිවරණයේ තීරණාත්මක කාරණා වන්නේ දුප්පත්කම, විවිධ ජාතීන් අතර නියෝජනය සඳහා වන තරඟය සහ ඉන්දීය මැතිවරණ කොමිසම (ECI) විසින් මෑතකදී සිදු කරන ලද විශේෂ දැඩි සංශෝධනය (SIR) හේතුවෙන් ජන්ද බලය අහිමිවීම යි.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශ්ව වැඩිහිටි ජන්ද බලය සහතික කළත්, SIR මඟින් ජන්දදායකයන් ලක්ෂ 48 කට ජන්දය දීමේ අයිතිය අහිමි කිරීමට කොන්දේසි පනවා තිබේ. ඒ අනුව ජන්දය දීමට කැමති සෑම අයෙකුටම තමන් ඉන්දීය පුරවැසියෙකු බවත්, උප්පැන්න සහ පදිංචිය පිළිබඳ ලේඛන ECI විසින් අනුමත කරන ලද ලැයිස්තුවට අනුව ඉදිරිපත් කළ යුතු විය. එහෙත් බිහාර් ප්‍රාන්තය යනු අවම සංවර්ධනය වූ ප්‍රාන්තයක් බැවින් බොහෝ දෙනාට අවශ්‍ය ලේඛන නොතිබුණි. විපක්ෂය සහ සිවිල් සමාජය චෝදනා කළේ මෙම SIR ක්‍රියාවලිය NDA සන්ධානයට පක්ෂ නොවන මුස්ලිම්වරුන්, දලිතයන් සහ ගෝත්‍රිකයන් වැනි විශාල පිරිසකගේ ජන්ද බලය අහිමි කිරීමේ උපක්‍රමයක් බවයි.
තවද බිහාර්හි ඡන්දය දීමේ ප්‍රධාන නිර්ණායකය වන්නේ කුලයයි.
NDA සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය (BJP) සිය හින්දු ජාතිකවාදී මතවාදය මත පදනම්ව ප්‍රධාන වශයෙන් හින්දු බහුතරයේ ඡන්ද මත විශ්වාසය තබා ඇත. ඔවුන් එකදු මුස්ලිම්වරයෙකුවත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර නැත.
එහෙත් BJP හි සගයා වන ජනතා දාල් යුනයිටඩ් (JDU) මුස්ලිම්වරුන් සිව් දෙනෙකු නම් කර තිබේ.
MGB සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන රාෂ්ට්‍රීය ජනතා දාල් (RJD) මුස්ලිම්වරුන් 18 දෙනෙකු සහ යාදව් ප්‍රජාවෙන් අපේක්ෂකයන් 35 දෙනෙකු නම් කර ඇත.
ප්‍රාන්ත ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වන අනෙකුත් පසුගාමී පන්ති (OBC) සහ අතිශය පසුගාමී පන්ති (EBC) ඉලක්ක කර ගනිමින් පක්ෂ අපේක්ෂකයන් නම් කර තිබේ. 2023 බිහාර් කුල සමීක්ෂණයට අනුව, EBCs ජනගහනයෙන් 36% ක් සහ OBCs 27% ක් වේ. EBCs ප්‍රාන්තයේ ආසන 120 කට වැඩි ගණනක මැතිවරණ ප්‍රතිඵලය තීරණය කිරීමේ හැකියාව ඇති බව සැලකේ. 2005 වසරේදී රැකියා සහ අධ්‍යාපනය සඳහා 18% ක වෙන් කිරීමක් ලබා දුන් JDU හි කුර්මි කුලයට අයත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් EBCs සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක සිටියි.
මැතිවරණයේදී ප්‍රතිඵලවලට බලපෑම් කිරීමට හැකි Spoilerස් ලෙස ප්‍රශාන්ත් කිෂෝර්ගේ ජන් සුරාජ් පක්ෂය (JSP), අසදුද්දීන් ඕවයිසිගේ Majlis-e-Ittehadul Muslimeen (MIM) සහ අරවින්ද් කේජ්‍රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය (AAP) සැලකේ. 2024 නොවැම්බර් මාසයේ පැවති අතුරු මැතිවරණයෙන් JSP පක්ෂය 10% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන NDA සහ MGB යන දෙකටම හානි කළ හැකි බව ඔප්පු කර තිබේ.
දුප්පත්කමෙන් පෙළෙන බිහාර්හි මැතිවරණ ප්‍රතිඵලය තීරණය කිරීමේදී නොමිලේ දීමනා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. NDA රජය විසින් මෑතකදී දියත් කරන ලද “Mukhya Mantri Mahila Rojgar Yojana” යටතේ ස්වයං රැකියාවන් සඳහා කාන්තාවන් ලක්ෂ 75 කට රුපියල් 10,000 බැගින් ලබා දීම ඔවුන් කාන්තා ඡන්දදායකයන් අතර තම සහයෝගය ශක්තිමත් කිරීමට ඇති කැමැත්ත පෙන්වයි.
අවසාන වශයෙන් ඉහත සඳහන් කළ සාධක අතුරින් බිහාර්හිදී සැබවින්ම බලපානු ලබන සාධකය කුමක්දැයි නිශ්චිතව පැහැදිලි නැත. කෙසේ වෙතත්, පොදු මතය වන්නේ කුල සන්ධාන සහ නායකත්වය අතින් NDA සන්ධානය වඩා හොඳ ස්ථානයක සිටින බවයි.
අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සෘජු මැදිහත් වීම NDA වෙනුවෙන් ඇති වැදගත්ම සාධකයයි. ඔහුගේ ඉන්දීය ජාතිකවාදී ප්‍රතිරූපය සහ BJP-NDA හි හින්දු ජාතිකවාදය බිහාර්හි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
එහෙත්, ඡන්ද ලේඛනය “පිරිසිදු කිරීමේ” අවශ්‍යතාවයක් ලෙස NDA විසින් හුවා දක්වන SIRහි සම්පූර්ණ බලපෑම ජනතාවට වැටහී තිබේද යන්න පැහැදිලි නැත. අනෙක් අතට, MGB සන්ධානය චෝදනා කරන්නේ එය “මුස්ලිම්වරුන් සහ අනෙකුත් දුර්වල කොටස්වලට ජන්ද බලය අහිමි කර NDA ට වාසි සැලසීමට” ගත් උපාය මාර්ගයක් බවයි.
බිහාර් මැතිවරණය නරේන්ද්‍ර මෝදි මහතාට සහ සමස්ත ඉන්දීය දේශපාලනයටම ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතිබව මෙමගින් පැහැදිලි වේ.

0 Comments