බොහෝ දෙනා නේපාලය දුටුවේ ලෝකයේ උසම කඳු මුදුනට නිවහන වූ ඝන වලාකුළු අතර සැඟවී ගිය පුරාණ රාජ්‍යයක් ලෙසිනි. නමුත් අද වන විට එම නිහඬ දේශය ලෝකයටම අනාගතය පිළිබඳ පෙර නිමිති පෙන්වමින්, දේශපාලනයේ නවතම සන්ධිස්ථානයකට ළඟා වී ඇත. දශක ගණනාවක් පැරණි දේශපාලන ක්‍රමවේදයන් අභිබවා යමින් නේපාලය ලොව ප්‍රථම පූර්ණ සයිබර් ක්‍රමයට තේරී පත් වූ රජය ලෙස සිය නව පරිච්ඡේදය ආරම්භ කර ඇත.

මෙය සාමාන්‍ය මැතිවරණයක් හෝ‍ අරගලයක් හෝ නොවේ. මෙය නූතන දේශපාලන විද්‍යාවේ පැරණි සංකල්ප අභියෝගයට ලක් කළ 'ජෙනරේෂන් Z විප්ලවය' ලෙස නම් කළ හැකි, ඩිජිටල් නැගිටීමකි. එය වීදිවලින් ප්‍රචලිත වී, අන්තර්ජාලයේ සර්වර් තුළ අවසන් වූ, තරුණ කෝපය පාලන බලය බවට පරිවර්තනය කළ කතාවකි.

Discord පාර්ලිමේන්තුව - දේශපාලනය, විනෝදාස්වාදයට එකතු වූ සංධිස්ථානය

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාවලීන් අකර්මණ්‍ය වූ පසුබිමක, නේපාලයේ තරුණ පරපුර සිය නායකයන් තෝරා ගැනීම සඳහා අරුමපුදුම වේදිකාවක් තෝරා ගත්තේය. ඒ වීඩියෝ ක්‍රීඩා ප්‍රජාව අතර ජනප්‍රිය 'Discord' පණිවිඩකරණ යෙදුමයි. විරෝධතා උත්සන්න වී සාම්ප්‍රදායික මාධ්‍ය අවහිර වූ විට දස දහස් ගණනක් වූ 'නෙට්පුරවැසියන්' (Netizens) Discord සර්වරයට එක් විය. මෙම සර්වරය ඉතා කෙටි කලකින් 'නේපාල පාර්ලිමේන්තුව' ලෙස හැඳින්වීමට පටන් ගත් අතර, එහි සාමාජික සංඛ්‍යාව 145,000 ඉක්මවීය. සම්ප්‍රදායික මැතිවරණ විමසීම් වේදිකා මෙන් නොව මෙම ඩිජිටල් වේදිකාව හරහා, තාවකාලික අග්‍රාමාත්‍ය ධුරය සඳහා ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙකු අතර කඩිනම් ඡන්ද විමසීම් කිහිපයක් පවත්වන ලදී.

වාර්තා වන පරිදි එහිදී, හිටපු අගවිනිසුරු සුශීලා කාර්කි මහත්මිය සයිබර් වේදිකා මගින් තේරී පත් වූ පළමු අගමැතිවරිය ලෙස තේරී පත් විය. ඇයගේ ජයග්‍රහණය මිනිත්තු කිහිපයක් ඇතුළත ඩිජිටල් අවකාශය තුළින් සනාථ විය.

මෙය වාර්තා වන්නේ ලොව ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සහ ප්‍රධාන ඇමතිවරුන් පිරිසක් අන්තර්ජාලය පාදක කරගත් සම්මුතියක් සහ ඩිජිටල් ඡන්දයකින් තෝරා පත් කර ගැනීම ලෙසයි.

විප්ලවයේ සැබෑ මුහුණුවර

නේපාලයේ මෙම සයිබර් නැගිටීම හුදෙක් තාක්ෂණික සිදුවීමක් පමණක් නොවන බව සංඛ්‍යා ලේඛනවලින් ගම්‍ය වේ. එය පවතින්නේ රටේ තරුණ විරැකියාව (20.8%) සහ දේශපාලන අස්ථාවරත්වය (වසර 17ක් තුළ රජයන් 14ක්) පිළිබඳව වූ ගැඹුරු කලකිරීමක් මත ය. සාමාන්‍ය ජනගහනයක් සහිත නේපාලයේ තරුණයින්, දේශපාලන පන්තියේ දූෂණය හා බැදී කෝපය, සිය විනෝදාස්වාදාත්මක ජීවන රටාව හා බැඳුණු Discord වැනි වේදිකාවක් ඔස්සේ මුදා හැරියේය. 

අනාගත රජයට මුහුණදීමට සිදුවන අභියෝග: තාක්ෂණය සහ නීතිය අතර සටන

නව සයිබර් රජය සාම්ප්‍රදායික මායිම් බිඳ දැමුවද, එහි ගමන අසීරු බව පැහැදිලිය.

ප්‍රථමයෙන්ම, නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නය මතුව ඇත. Discord ඡන්දය අර්බුදයකට විසඳුමක් ලෙස පිළිගත්තද, එයට නිල නීතිමය රාමුවක් නොමැත. නේපාලයේ දැනට පවතින 'ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත' යනු වත්මන් සයිබර් තර්ජන හෝ ඩිජිටල් පාලන අවශ්‍යතා ආමන්ත්‍රණය නොකරන යල් පැන ගිය නීතියකි. නව රජයට නව, ශක්තිමත් 'ඩිජිටල් පාලන පනතක්' කඩිනමින් ගෙන ඒමට සිදුවනු ඇත.

දෙවනුව, සයිබර් ස්වෛරීභාවය විශාල අභියෝගයකි. සමස්ත රජයේ පාලනයම Discord වැනි විදේශීය සමාගමකට අයත් වේදිකාවක් මත රඳා පැවතීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. රටේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම සඳහා, නව රජයට ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) ශක්තිමත් කර, දේශීයව ගොඩනඟන ලද, ආරක්ෂිත ඩිජිටල් වේදිකා වෙත මාරු වීමට සිදුවනු ඇත.

තවද ඩිජිටල් බෙදීම (Digital Divide) තීරණාත්මක ය. ග්‍රාමීය ජනගහනයෙන් විශාල පිරිසකට තවමත් විශ්වාසදායක අන්තර්ජාල ප්‍රවේශයක් නොමැති විට, සහ ජෙනරේෂන් Z පරම්පරාවෙන් ඔබ්බට ඩිජිටල් වේදිකා මත පදනම් වූ පාලනය සියලු පුරවැසියන් නියෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුවක් පවතී.

කෙසේ වෙතත්, නේපාලය ඔප්පු කර ඇත්තේ අනාගතයේ රජයක් පවතිනු ඇත්තේ ගල් හා සිමෙන්තිවලින් තැනූ පාර්ලිමේන්තු ගොඩනැගිලිවල නොව, අප සියලු දෙනාගේ ජංගම දුරකථනවල ඇති සයිබර් අවකාශය තුළ බවයි. නේපාලයේ මෙම විප්ලවය, ලෝකයේ සෑම රටක්ම අද හෝ හෙට දිනක මුහුණ දීමට සිදුවන 'ඩිජිටල් දේශපාලන විප්ලවයේ' පෙර නිමිත්තක් වනු නොඅනුමානය. වෙනත් රටවල් ද මෙම නව මාදිලියට අනුවර්තනය වීමට උත්සාහ කරන්නේද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

#CyberGov #DigitalDemocracy #BlockchainElections#GenZProtest #NepalCyberGov